HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

කිසිම සතකුට නැති මිනිසාට විතරක් ඇති විස්මිත නියුරෝනයක්!

ජීවීන්ගේ ව්‍යුහමය සහ ක්‍රියාකාරී මූලික ඒකකය සෛල ලෙස හැඳින් වෙයි. පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා සෛල, ජීවියකුගේ පැවැත්ම සඳහා අවශ්‍ය සියලුම මූලික ජෛව ක්‍රියාවලීන් සිදු කරනු ලබන ස්වාධීන ඒකක සමූහයකි. සෛලයක් ප්‍රධාන වශයෙන්, පාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන න්‍යෂ්ටියකින් (Nucleus), ශක්තිය නිපදවන මයිටොකොන්ඩ්‍රියාවකින් (Mitochondria) සහ සෛලීය ද්‍රව්‍ය රඳවා තබා ගන්නා සෛල ප්ලාස්මයකින් (Cytoplasm) යුක්ත වේ. මිනිස් සිරුර තුළ රතු රුධිර සෛල, පේෂි සෛල සහ අස්ථි සෛල වැනි විවිධ සෛල වර්ග දස දහස් ගණනක් ඇත. ඒවායේ හැඩය සහ ප්‍රමාණය ඒවා ඉටුකරන විශේෂිත කාර්යය මත තීරණය වේ. බොහොමයක් සෛලවලට ස්වයංව බෙදෙමින් අලුත් වීමේ හැකියාව පවතී. 

මිනිසා මිහිමත අනෙක් සතුන්ගෙන් වෙනස්ව, පරිණාමය වී පෘථිවියේ ආධිපත්‍යය රඳවාගෙන 
සිටින්නේ මේ අසාමාන්‍ය සෛලය නිසාද?

නියුරෝන හෙවත් ස්නායු සෛල යනු සිරුරේ සන්නිවේදන කටයුතු සඳහා විශේෂණය වූ සෛල වර්ගයකි. මෙය සෛලයක්ම වුවද, සෙසු සාමාන්‍ය සෛලවලට වඩා ව්‍යුහමය වශයෙන් සහ ක්‍රියාකාරී අතින් බෙහෙවින් වෙනස්ය. නියුරෝනයක ප්‍රධාන කාර්යය ශරීරයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විද්‍යුත් සහ රසායනික සංඥා මගින් තොරතුරු හුවමාරු කිරීමය. නියුරෝන ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය. ඒ, තොරතුරු ලබාගන්නා අතු බෙදුණු ඩෙන්ඩ්‍රයිට (Dendrites), සෛලයේ මධ්‍ය කොටස වන සෛල දේහය (Cell body) සහ පණිවිඩය සෛලයෙන් බැහැරට රැගෙන යන දිගු අක්සන (Axon) ආදී වශයෙනි. 

විද්‍යාත්මකව බලද්දී, සෑම නියුරෝනයක්ම සෛලයක් වන නමුත් සෑම සෛලයක්ම නියුරෝනයක් වන්නේ නැත. සාමාන්‍ය සෛල ශරීරයේ ව්‍යුහය පවත්වා ගැනීමට සහ වර්ධනයට දායක වන විට, නියුරෝන මගින් සිදු කරන්නේ ශරීරය පුරා විහිදුණු සංකීර්ණ ජාලයක් හරහා මොළය සහ සිරුරේ අනෙකුත් අවයව සම්බන්ධ කිරීමය. මෙම සෛල දෙවර්ගය අතර ඇති තවත් සුවිශේෂී වෙනසක් නම්, බොහොමයක් සාමාන්‍ය සෛල පටක අලුත්වැඩියාව සඳහා නිරන්තරයෙන් බෙදීමට ලක් වුව ද, පරිණත ස්නායු සෛලවලට (Neurons) එලෙස බෙදීමේ හැකියාව සීමිත වීමය. එබැවින් ස්නායු පද්ධතියට සිදුවන හානි යථා තත්ත්වයට පත්වීම අනෙක් පටකවලට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. 

රෝස්-හිප් නියුරෝනය මිනිස් පරිණාමයේ තීරණාත්මක සාධකයද?

නියුරෝන හරහා පණිවිඩ ගමන් කරන්නේ විද්‍යුත් සංඥා ලෙස වුවද, එක් නියුරෝනයක් තවත් නියුරෝනයක් සමඟ සෘජුවම ස්පර්ශ වන්නේ නැත. ඒවා අතර ඉතා කුඩා හිස් අවකාශයක් පවතින අතර, එම හමුවන ස්ථානය සිනැප්සය (Synapse) ලෙස හඳුන්වයි. එක් නියුරෝනයක අක්සන කෙළවරට විද්‍යුත් පණිවිඩය පැමිණි විට, එමගින් නියුරෝ සම්ප්‍රේෂක (Neurotransmitters) නමැති විශේෂ රසායනික ද්‍රව්‍යයක් අදාළ හිස් අවකාශයට මුදා හැරීම සිදුවේ. මෙම රසායනික පණිවිඩකරු ඊළඟ නියුරෝනයේ ඇති ග්‍රාහක (Receptors) සමඟ සම්බන්ධ වූ පසු, නැවතත් එම පණිවිඩය විද්‍යුත් සංඥාවක් බවට පත්වී ඉදිරියට ගමන් කරයි. මෙම ක්‍රියාවලිය ඇසිපිය හෙළන සැණින් සිදුවන අතර, අපේ සිතුවිලි, චලනයන් සහ මතකය රඳා පවතින්නේ නියුරෝන ට්‍රිලියන ගණනක් එකිනෙක සම්බන්ධ වුණු ජාලයක් තුළය‍ 

සෛල ගැනත් නියුරෝන හෙවත් ස්නායු සෛල ගැනත් සරල අවබෝධයක් ලබා ගත් බැවින් දැන් අපි යමු අපේ කතාවට. ඔබ දන්නවාද? මනුෂ්‍ය අප සියලු දෙනාගේ මොළයේ සුවිශේෂී සෛලයක් ඇති බව. මෙම සෛලය, මිහිමත ජීවත් වන වෙන කිසිදු ජීවියකුගේ මොළයේ නැත. මෙය නියුරෝනයකි. මෙය ඇත්තේ මනුෂ්‍ය අපේ මොළයේ පමණි. මෙය විද්‍යාඥයන් පුදුම කරවන කාරණාවකි. අදටත් මෙය ප්‍රහේලිකාවකි. 

ඒ, 2020 වසරය. ඇමෙරිකාවේ සියැටල් ජනපදයේ ඇලන් විද්‍යා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් සහ හංගේරියාවේ සෙගෙඩ් විද්‍යා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මිනිසුන්ගේ සහ මීයන්ගේ මොළයේ පටක පරීක්ෂා කරමින් සිටියහ. ඔවුන් භාවිතයට ගත්තේ අති නවීන තාක්ෂණයයි. ඔවුන් පර්යේෂණ කරන්නට වූයේ මිනිස් මොළයේත් මීයන්ගේ මොළයේත් නියුරෝන ක්‍රියාකාරීත්වය කෙසේදැයි සොයා බැලීමටය. අලුත් දෙයක් සොයා ගැනීමේ අරමුණින් පර්යේෂණ කිසිවක් සිදු නොවිණි. ඔවුන් එය දුටුවේ එවිටය. කුඩා එකිනෙක තදින් පැටලුණු ඒ නියුරෝන සෛලය ඔවුන් දුටුවේ එවිටය. 

සෛලය පෙනුමින් රතු පැහැතිය. 
එකිනෙක පැටලුණු මුල් ගොඩක් වැනිය.

සෛලය පෙනුමින් රතු පැහැතිය. එකිනෙක පැටලුණු මුල් ගොඩක් වැනිය. බැලූ බැල්මට, විද්‍යාඥයන්ට රෝස්හිප්ස් (Rosehips) ගෙඩියක වර්ණය සිහි ගැන්විණි. රෝස්හිප්ස් (Rosehips) යනු රෝස මලක පෙති හැලී ගිය පසු ඉතිරි වන රෝස ශාකයේ ඵලයයි. රතු පැහැයක් ගන්නා මේවා පෙනුමින් කුඩා බෙරි ගෙඩි වැනිය. ඒ අනුව, මෙම නියුරෝන සෛලය රෝස්-හිප් (RoseHip) ලෙස නම් කෙරුණි. 

නවීන තාක්ෂණයට පින්සිදුවන්න හමුවුණු එම අමුතු නියුරෝන සෛලය හැඩයෙන් අනෙක් සෛල හා සමාන නොවන බව පැහැදිලි විය. මෙවැනි සෛලයක්, මීයන්ගේ හෝ වඳුරන් හෝ වානරයන් අයති ප්‍රිමටාවන්ගේ හෝ වෙන කිසිදු ක්ෂීරපායී සත්වයකුගේ හෝ ඇත්තේ නැත. මිහිමත ජීවත් වන වන කිසිදු සත්වයකුගේ මොළයේ මෙවැනි නියුරෝන සෛලයක් ඇත්තේ නැත. ඒ බව මේ වන විට තහවුරු වී අවසන්ය. 

මවිතයට පත්වුණු විද්‍යාඥයන් එකපිට එක පර්යේෂණ ගණනාවක් සිදු කරමින් මේ නියුරෝන සෛලය කුමක්දැයි සොයා බලන්න විය. ඉලෙක්ට්‍රොනික් ස්කෑන් (Electron Scanning) සහ මයික්‍රෝස්කොපික් ඉමේජ් (Microscopic Imaging) ස්කෑන් පරීක්ෂණ සිදු කෙරුණි. ඉලෙක්ට්‍රොනික් ස්කෑන් සහ මයික්‍රෝස්කොපික් ඉමේජ් යනු පියවි ඇසට නොපෙනෙන අතිශය කුඩා ව්‍යුහයන් පරීක්ෂා කිරීම සඳහා විද්‍යාවේදී භාවිතා කරන උසස් තාක්ෂණික ක්‍රමවේද දෙකකි. නියුරෝන සෛලය කුමක්දැයි සොයා බැලීමට ජාන පර්යේෂණ සිදු කෙරුණි. මේ සුවිශේෂී නියුරෝන සෛලය අප මිනිස් සිරුරේ අනෙක් නියුරෝන සෛලවලට පවා හාත්පසින්ම වෙනස් බව පැහැදිලි විය. 

අදටත් විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වුණු මේ රෝස්-හිප් නියුරෝන සෛලය පිහිටා ඇත්තේ, අප මොළයේ ඉහළම ස්තරයේය. විද්‍යාත්මකව කියනවා නම්, මස්තිෂ්ක බාහිකයේ (Cerebral Cortex) ය. අපට දැනෙන දේ දැනෙන්නේ, අපේ සිතුවිලි අපට දැනෙන්නේ මේ සුවිශේෂී නියුරෝන සෛලය හරහාය. එය මොළයට පණිවිඩ ඇතුළත් කරන දොරටුවය. රෝස්-හිප් නියුරෝන, ‘බාධක නියුරෝන’ (Inhibitory neurons) වර්ගයට අයත් වන බව විද්‍යාඥයන්ගේ අදහස ය. ‘බාධක නියුරෝන’ යනු අනවශ්‍ය ස්නායු සංඥා පාලනය කිරීම හෝ තිරිංගයක් ලෙස ක්‍රියා කරමින් මොළයේ ක්‍රියාකාරිත්වය සමබර කරන නියුරෝන වර්ගයකි. 

මිනිසා, මිහිමත අනෙක් සතුන්ගෙන් වෙනස් වී, පරිණාමය වී පෘථිවියේ ආධිපත්‍යය රඳවාගෙන සිටින්නේ මේ අසාමාන්‍ය සෛලය නිසාද? මෙය බොහෝ දෙනකුට නැගෙන ප්‍රශ්නයකි. මිනිසා පරිණාමය වූයේ වඳුරන් සහ වානරයන්ගෙන් යැයි මතයක් පවතී. එසේ නම්, තවමත් වඳුරන් සහ වානරයන් සිටින්නේ ඇයිදැයි යනුවෙන් ප්‍රශ්න නගන බොහෝ දෙනකුගේ අදහස රෝස්-හිප් නියුරෝනය මිනිස් පරිණාමයේ තීරණාත්මක සාධකය බවය. වර්තමානයේ, ඇල්සයිමර් හෝ ස්නායු ආබාධ වැනි තත්ත්වයන් සතුන්ගේ මොළයට බලපෑම් නොකර මිනිස් මොළයට පමණක් බලපාන ආකාරය තේරුම් ගැනීමට රෝස්-හිප් නියුරෝන සෛල පිළිබඳ හැදෑරීම සිදුවෙමින් පවතී. 

- ලුසිත ජයමාන්න‍ 

ඩාර්ක් විස්ඩම් ඇසුරිනි 

කැප්ෂන් 

 

 

අදහසක් පළ කරන්න

0 Comments